ඉරුම් රස්සාව 1
මේ චායාරූපය දැක්කහම මගේ මතකය අතීතයට ගියා.ඉස්සර අපේ තාත්තත් ඔය රස්සාව කරලා තමයි අපිව ජීවත් කරේ.ඒ දවස්වල ගෙවල්වලට ලී අවටින්ම හොයාගෙන ඔහොම ඉරලා තමයි ගත්තෙ.අද කාලෙ වගේ යන්ත්‍ර සූත්‍ර තියුනෙ නෑ.ඉරුම් රස්සාවකට සම්බන්ධ උපකරණ කීපයක් තීනවා.ප්‍රදාන එක තමයි මහ කියත.කියතක් අලුතින් ගත්ත ගමන් ලී ඉරන්න බෑ.ඒක අල්ලගෙන ඉරන්න එකක් හදන්න ඕනෙ.ඒකට කියන්නෙ කියත් නොහොරිය කියලා.යකඩ සහ ලී ආධාරයෙන් කම්මලකින් තමයි ඒක හදාගන්නෙ.ඒ උඩ ඉරණ කෙනා අල්ලන කොටස.පහල ඉරණ කෙනාටත් අල්ලගෙන ඉන්න කොටසක් තීනවා..ඒකට කියන්නෙ කියත් පෙට්ටිය කියලා.ඒක හදන්න ගන්නෙ බොහෝවිට ගන්නෙ ශක්තිමත් ලීයක්.මට මතකයි අපේ තාත්තා නැදුම් මුල් යොදාගෙන කියත් පෙට්ටි හදාගෙන තිබුනා.ඒක හදන්නෙ වඩු බාස් කෙනෙක්.ඒක කියතට සම්න්ධ කරන්නෙ පොඩි කූඥයක් ගහලා.දන්ඩියම් දෙක අතර ඉරනකොට කැපුමෙන් කැපුමට කියත් පෙට්ටිය කියතෙන් ගලවන්න වෙනවා.ඒක කරන්නෙ යට ඉරන එක්කෙනා අතකොලුවක් ආධාරයෙන් .
ලී ඕන උනහම තුන්ඩුවත් අරං කට්ටිය එනවා තාත්තව හොයාගෙන.තුන්ඩුව බලපු ගමන් තාත්තා දන්නවා ඕන වෙන ගස් ප්‍රමාණය හා වර්ගය.ඊට පස්සෙ ඒ ගහ කපලා පලංචි බැඳලා උඩ තියලා ඉරණවා.පලංචිය බඳින්නෙ ගස් දෙකකට අල්ලලා ලීයක් ගැට ගහලා,හරහට තව ලී දඬු දෙකක් දාලා.ඒ දෙකට කියන්නෙ දන්ඩියම කියල.දන්ඩියමෙ අග පැත්ත කතිරෙට හිටවපු රිටි දෙකක් අතර රඳවනවා..ඒකට කියන්නෙ කත්තුව කියලා.ලී කොටය උඩ තියලා කත්තුව කිට්ටුවෙන් මුක්කු ගහලා වැල් වලින් ගැට ගහනවා..
එහෙම උඩ තියපු ලී කොටය පලංචිය උඩ පෙරලෙන එක වලක්වන්න කෝටුවක් ආනතියට කපාගත්ත කෑලි හතරක් යොදා ගන්නවා..ඒවට කියන්නෙ "උපකාර"කියලා.
ඊට පස්සෙ ඉරන්න කලින් කරන්න වැඩ ටිකක් තීනවා.වැඩියෙන්ම ලී කැපෙන විදියට ලීය හරවගෙන ලකුණු තියලා නූල් ගහ ගන්නවා.ලකුණු තියන්න උල් පිහියයි අඩි කෝදුවයි තමයි භාවිතා කරන්නෙ.දැලි නූල තමයි නූල් ගහන්න ගන්නෙ.පරණ බැටරි කෑලි තලලා එවයෙ තීන කාබන් අරන් තමයි දැලි හදාගන්නෙ.පොල් කට්ටකට දාලා වතුර ටිකක් දාලා තමයි හදාගන්නෙ..පොඩි කාලෙ ඉතින් ඒ රාජකාරිය පැවරෙන්නෙ මට.ඒකට කියන්නෙ "දැලි පොල්කට්ට" කියලා.
එහෙම හදාගත්ත දැලි පොල්කට්ටෙ පොඟවපු නූල අරං කඳේ දෙපැත්තෙ ලකුණු වලට තියලා තද කරනවා.ඊට පස්සෙ මැද්දෙන් උස්සලා අත අරිනවා.එතකොට නූල කඳේ වදිනවා.ඔය අතරෙ කඳ පෙර තියුන ආකාරයටම නැවත තියන්න ලඹ බාන්න කට්ට දෙකකුත් කපා ගන්නවා.ඒක බොහෝවිට කරන්නෙ යට ඉරණ එක්කෙනා.ලඹය විදිහට යොදා ගන්නෙ කියතෙ දත් අල්ලන්න ගන්න දත් අඬුවට නූලක් ගැට ගහලා.ඔහොම කරලා ඉරන්න පටන් ගන්නවා..බොහෝවිට පහල ඉරන්නෙ ගෝලයා.
ක්‍රමානුකූලව මුලින්ම කරන්නෙ කඳ පලු කර ගන්න එක.ඒක ටිකක් අමාරුයි .ඒ කැපුම් වාසිය ලොකු නිසා.කොහොමින් හරි පලු කරාට පස්සෙ අපි ආසයි ඒ පලු උඩ ඉන්න.😂😂
ඔය ගැන කියන්න රසවත් අත්දැකීම් ගොඩක් තීනවා..
තාත්තගෙන් අහගෙන ටික ටික ඉස්සරහට ලියන්නම්කො....
Comments
Post a Comment