කාක ප්‍රේමය
සද්ද වැඩි උන හද්ද නගරයෙ
ලයිට් කණුවක මැද්දෙ සිදුරක
බීම බට සහ වයර් කැබලිති
එකින් එක පටලාපු නිවසක
රිජිෆෝම් හා පැඩින් අතුරා
අපිළිවෙලකට යහන තනලා
කාක යුවලක හීන ගැන්නා
වසන්තය දරුවන්ට දෙන්නට
පලාතට සිටි එකම කෙවිලිය
හොරෙන් බිජුවට දාපු දවසෙම
කරන්ට් වැදිලා මැරිලා හිටියා
පාර අයිනේ කහ ඉරක් ළඟ
පියාපත් උණුහුමට වැඩි උන
වීදි පහනේ රස්නෙ ගහලා
එන්න නියමිත දිනට කලියෙන්
ලපටි පැටියන් කටුව කඩලා
ටිකෙන් ටික ලොකු වෙද්දි පැටවුන්
හඬද්දී හැඳිනුවත් කොවුලන්
තුරුළු කරගෙන සියළු දරුවන්
පිට්සා කැව්වා සෙනෙහෙ පුරවන්...
Comments
Post a Comment