වරෙව් මහතුනේ කුණුකය වළඳන්න .

විනේ කටින උන්..  (ගීත විචාරයකි)

විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මල හිමිගේම
වණේ නැතිව උන් දුක දන්නේ කෝම

ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට
නෙලා ගනිමි යැයි කප් රුක පිදුවාට
ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

ලැමේ කිරට මොර ගහනා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්න
ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුණුකය වලඳන්න

ගායනය - ප්‍රදීපා ධර්මදාස
පද රචනය - වසන්ත පුෂ්පකුමාර
තනුව - රෝහණ වීරසිංහ

        තම ස්වාමියාගේ වියෝවෙන් පසු කුඩා දරුවන් සමග අසරණ වන කාන්තාවක් තම දරුවන් පෝෂණය කරමින් ජීවත්වීම සඳහා තම ශරීරය සලෙලුන් හට විකුණන්ණියෙකුගේ යතාර්ථවාදී කියා පෑමක් ලෙස වසන්ත පුෂ්පකුමාර අතින් රචිත රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනයෙන් ප්‍රදීපා ධර්මදාස ගායනා කරන "විනේ කටින උන්" ගීතය හඳුන්වාදීමට පිළිවන.

විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මල හිමිගේම
වණේ නැතිව උන් දුක දන්නේ කෝම

   මෙවන් කාන්තාවක් සිටින ගමක ඕපාදූප සොයන ගැහැණු පිරිමින් හට ඇයව තරම් කථාබහට ලක්වන වෙනත් දෙයක් නැති තරම්ය.කඩ පිලේ,නාන තොටේ,ආදී ගැහැණු මිනිසුන් එකතුවන ස්ථාන වල ඇයව නිර්දය ලෙස විවේචනය කරති.දොස් කියති,අවමානයට ලක් කරති.එසේ කියන උන්ම ඇයගේ මූණට එසේ නොකියති.නමුත් ඇයගේ කණට අමිහිරි දේ නොහොත් කොහොඹ මිරිකති.එනම් ඇයට නොදැනී ඇයව රිදවන වදන් කියති.එය මෙසේ විය හැකිය."අපිනම් උඹට මොකුත් කියන්නෙ නෑ..ඒත් අරුන් අරහම කියනව.ඔය වැඩේ නතර කලොත් නරක ද?..බලපන් උඹේ මනුස්සයා කොච්චර හොඳට නමක් තියාගෙන උන්නද?.උඹ ඒ නම රැකගෙන හිටියොත් නරකද?"..ආදී වශයෙන් විය හැකිය.කණේ කොහොඹ මිරිකනවා යන කියමන ගැමි වහරේ පවතින්නේ දරාගැනීමට අමාරු යමක් කීමට හා හිත රිදෙන යමක් කීමටය.මෙම කියමනට විරුද්ධ කියමනක් ද ගැමි වහරේ එයි.එනම් කණට මී පැණි වක්කරනවා යන්නයි.නමුත් මෙම කාන්තාවට එවන් කියමන් නම් කිසි කෙනෙකු කියන්නේ නැත.

       ඇයගේ කණට දරාගත නොහැකි දේ පවසන බොහෝදෙනා කියන කාරණාවකි,ඇයගේ මියගිය සැමියාගේ ගුණය රැකගෙන ඉන්නටයෙයි කියන කාරණාව.නමුත් එම ගුණය රැකගෙන සිටීමෙන් ඇයගේ කුස පිරෙන්නේ නැත.දරුවනට කෑමට යමක් ලැබෙන්නේ නැත.එම දරිද්‍රතාව නැමැති දුක් සහිත තුවාලයේ වේදනාව දන්නේ  ඉන් පෙළෙන ඇයම විනා අන් කවරෙකුද යන්න ගැමි වගරේ එන තුවාලය තියන කෙනාම තමයි එහි වේදනාව දන්නේ යන කියමන"වණේ නැතුව උන් දුක දන්නේ කොහොම" යන්න යොදා ගැනීමෙන් රචකයා අපූරුවට එම අවස්ථාව අවබෝධ කරවීම පිණිස යොදාගෙන ඇත.ඇයට ගරහන උන් ඇය මෙන් අසරණ වූවන් නොවන වග මින් නොහැඟෙන්නේද?

ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට
නෙලා ගනිමි යැයි කප් රුක පිදුවාට
ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

     මැය පිළිබඳව වැඩි උනන්දුවක් දක්වනවානම් දැක්විය යුත්තේ ගැටවර වයසේ පසුවන අය බවත් නමුත් ඔවුන් එතරම් උනන්දුවක් නොදක්වන වගක් මින් හැඟේ.එසේ නොවන්නේනම් ඇය සමීපයට ඔවුන් නොයන්නේ යම් දෙගෙඩියාවකින් ඇති හෙයින් විය හැක.සමහරවිට රහසේ එනවා විය හැකිය.
ඇයගේ පාරිභෝගිකයන් උන් පමණ ද? නැත."විසේ නැග්ග නාකිත් පිල උඩ රෑට"
වයසින් මුහුකුරා ගිය වයසක මිනිසුන් ඇයගේ පහස බලාපොරොත්තුවෙන් පිල මත සිටිනු පෙනේ.මෙය සමාජීය යථාර්ථයම නොවන්නෙද?එවන් කතුන් ඇසුරු කරන බහුතරයක් මෙම කුලකය නොහොත් "නාකි"කොටසට අයත් බව ඕනෑම ගමක දැකිය හැක.එසේ එන උන් සිතන්නේ ඇය සමග එක්වීම සිතූ පැතූ සම්පත් ලැබෙන කප්‍ රුකක් ලැබුනා සේය.ඇය නෙලා ගන්නයැයි කියා ඔව්නට කප් රුක පුදයි.එසේ සිඳුකිරීමට වී ඇත්තේ ඇය කාන්තාවක් නිසාය.එනිසා ඇය කාන්තාවක් වීම පිළිබඳ වෛරයකින් පෙලෙන බවක් "ඉනේ රෙද්දමයි හිටියේ හරහාට"යන්නෙන් පැහැදිළි නොවන්නෙද?

ලැමේ කිරට මොර ගහනා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්න
ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුණුකය වලඳන්න

       දරුවන්ට කිරි දීම සඳහා මව පෝෂණය විය යුතුය.නමුත් එලෙස පෝෂණය වීමට තරම් ඇයට ආර්ථික ශක්තියක් නැත.ඇයගේ දරුවනට කෑම වේලක් දීමට කිසි කෙනෙකු නැත.එවන් දරුවෙකුට කෑම දීම කෙසේ වෙතත් බොහෝවිට කෙරෙනුයේ ඔවුන්ගේ නමට තවත් විශේෂණ පදයක් එකතු කර ඔවුන්ව අවමානයට ලක් කිරීම පමණකි.

        මෙම ගීතයේ ප්‍රබලම අදහස වන්නේ "ලිපේ ගින්න තුන් වරුවේ අව්ලන්න-වරෙව් මහතුනේ කුණුකය වලඳන්න"යන්නයි.ඇය ලිංගික ශ්‍රමිකයෙකු වීමේ අරමුණම වී ඇත්තේ තුන්වේල කෑම සපයා ගැනීමටය යන්න මින් පැහැදිළිය.සිය ස්වාමියා සිටියදීම අන් පුරුෂයන් සොයා යන,ස්වාමියා රැකියාවට ගියවිට අන් පුරුෂයන් යහනට කැන්දන කතුන් හා සැසඳීමේ දී මැයට මුළු සමාජයේම ගෞරවය හිමි නොවිය යුත්තේ ද? එවන් රාගික කාන්තාවන් හා මැය අතර අහසට පොළොව මෙන් වෙනසක් ඇත.වරෙව් මහතුනේ කුණුකය වළඳන්න යන යෙදුමෙන් ඇය ජීවිතයේ අනිත්‍ය තාව සහ දෙතිස් කුණුපයෙන් යුක්ත වූ ශරීරය පිළිබඳ මනා අවබෝධයකින් යුක්ත වග පැහැදිළි වේ.

     රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් ද ප්‍රදීපා ධර්මදාසයන්ගේ ප්‍රබල හඬින් ද මෙම ගීතයේ  අරුත ඔප් නැංවීමට ලැබී ඇති දායකත්වය අති මහත්ය.

https://youtu.be/XN8mqkXKsTA

Comments

Popular posts from this blog

ඉරුම් රස්සාව 1

සංහිඳේ දෙයියන්ගෙ පාමුල ,ගී විමසුම

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ..ගී විමසුම..